සීතාවක පහල ප්‍රදේශයේ කැළණි ගඟ දෙපස රන්වල දෙවියන් පිදීමද ප්‍රචලිතය. ප්‍රදේශයේ කාටත් හිතවාදීව ජීවත් වූ මෙහු මියයාමෙන් පසු දේවත්වයෙ පිදුම් ලබයි. කොළඹ අවිස්සවෙල්ල මහ මග හිඟුරල අඹ ගස ලග මේ දෙවියන් වෙනු වෙන් පඬුරු ඔප්පු කෙරේ. ගඟ දෙපස මිනිසුන් දෙවියන්ට උපහර වශයෙන් පුහුල් පහන් දල්වති. විශේෂයෙන් ගඟ දිගේ ලී පහුරු ගෙන යන අයට මේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව විස්වාස කෙරේ. කෑගල්ලේ රංවල ධාන්‍ය ගබඩාවක් රකිමින් සිටි අස්වන් රාලහි රන්කිරිරාල දෙවන රාජසිංහ රජුගේ උදහසට ලක්වූවෙන් පැන විත් කැළණි ගඟ දිගේ පහලට පහුරු දෙකක් පැදගෙන ගියහ. දංගල්ල හරියේදී ගඟ වැල්ලේ සිටි සූරූපියක් දැක ඇය හා හාද වී අස්වන්රාල පවුල් දිවිය ඇරබීය. රන්කිරිරාල නොනවතී පහලටම ගියේය. ගමේ අය හා හොඳින් හිතවත් වූ අස්වන් රාලට හිඟුරල ප්‍රදේශයේ වාස භූමිය විය. දැහැමි අස්වන්රාල මියගිය පසු දේවත්වයට පත්විය. රණවල දෙවියන්ගේ අවතාරය හිසේතලප්පාවක් බැඳ සුදු ඇද ගත් ආරෝහ පරිනාහ පුද්ගලයෙකි. අගුලකින් ගඟ පහලට යන මේ අවතාරය ඇතැම් අය දැක ඇතැයි ගැමියෝ කියති. රන්වල පෙදෙසේ නයි ගලත් කපුගොඩ පල්ලිය වත්ත තොටුපොලත් මල්වානේ රාසපාන තොටුපලත් දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩි තැන්ය.
” කැළණි ගංගාවට, රංවං අඟුලට , ලෙනවර රජ මහ විහාරයට, නයිගල වලට, පල්ලිය වත්ත තොටුපලට රස්ස පාන ගලට අරක්ගෙන වැඩ වදාරනවා සත්‍ය වාදී නම්, හිඟුරල අඹ ගසට දිවැස්ලා කැළණි දෙගම්බඩ කෙත්වතු බව භෝග ආරක්ෂා කරත්වා සත්තවාදී සැබෑ නම් රංවල දෙවිහාමුදුවන් වහන්සේ මේ නර පනුවන් නමින් ධන ධාන්‍ය කැවිලි පෙවිලි පුද පඬුරු භාරගෙන දුක් කරදරයක් අතුරු ආන්තරාවක් නැතිව කරන ගොවිතැන් දිවුනු පමුනු කර රැක දෙන්නට ඔබ වහන්සේ වරම් දෙන්නට අවසර.” ආරක්ෂාව පතා රංවල දෙවියන්ට කෙරෙන ආයචනයයි ඒ.
– පොත පත ඇසුරෙනි
