ජාතියක් තවත් බලවත් ජාතියකට කලක් යටත්ව සිටීමෙන් බලවත් ජාතියේ සංස්කෘතික අංගයන්ට දුබල ජාතිය පුරුදු වීම ස්වභාවිකය. මුලදී බටහිර මුහුදු තීරයේද පසුව කෝට්ටේ රජ්‍යයේ හා සීතාවක තුලද පෘතුගීසි බලය පැතිර යාම නිසා සිංහලයන් දුබල ජාතියක් බවට පත්විය. පාලන බලය අවියක් කොට ක්‍රිස්තියානි ධර්මය හා පරංගි සිරිත් විරිත් බලයෙන් කාවැද්දීමට පෘතුගීසී පාලකයන් කටයුතු කිරීම නිසා ඔවුන් අනුගමනය කිරීමට සිංහලයන්ට සිදු විය. විශේෂයෙන් පලක පක්ෂය අනුගමනය කිරීමට මුලින්ම ඉදිරිපත්වූවෝ ඔවුන් යටතේ නිලතල ලද්දෝය. මෙසේ ද්‍රවිඩ, පෘතුගීසී ලන්දේසි හා ඉංග්‍රීසි වැනි ජාතිකයන්ගෙන් පලපුරුදු වූ සෂ්ංස්කෘතික අංගයන් අප අතර ප්‍රචලිතවී අපේම සංස්කෘතික අංගයන් බවට පත්වෙමින් පවතී. පෘතුගීසී හු ඔවුන්ගේ ප්‍රීති උත්සව අවස්ථාවන්හිදී කපිරිඤ්ඤානම් ගී වෙසෙසක් ගායනා කලෝය. සුරාවෙන් මත්ව සුන්දරියකගේ අත ගෙන කපිරිඤ්ඤා ගීතයක් අනූව නැටීම මේ උත්සව වල විශේෂ අංගයක් විය. පෘතුගීසීන් ගේ මේ කපිරිඤ්ඤා ගීත ඇසුරින් “බයිලා” නැමති ගී වෙසෙස ආරම්භ විය.
සීතාව්ක රාජ්‍ය සමයෙන් ආරම්භ වූ මේ බයිලා නම් ගී විශේෂය අපේ උගතුන්ට රුචි දෙයක් නොවීය. ඔවුන් ඒවා ඉතා පහත් කොට සැලකූහ. එහෙත් ජන කවියා ඒවා සාදරයෙන් පිලිගත්තේය. ජනසංනීවේදන මාර්ගයක් වශයෙන්ද රටේ එදිනෙදා සිදුවන දේ පොදු ජනයාට කියා දෙන මාර්ගයක් වශයෙන්ද ඒවා වැඩි දියුනු කලේය. අද එය හුදු විනෝදාස්වදය සදහාම භාවිතාවන්නක් ලෙසින් නොව ආගමික කථා, සුචරිත උපාදේශ ආදීය පැවසීමේ මාධ්‍යක් බවට පත්ව තිබේ.
– පොත පත ඇසුරෙනි