අප ඉන් අනතුරුව මාගේ නේවාසිකාගාරය වෙතට ගියෙමු. නේවාසිකාගාරයේ කාලයකට පසුව දොර ජනෙල් පත් සියල්ල විවර කර දැමුවෙමි. තවමත් තම රිය තුල සිටින ඇය වෙතට ගිය මම ප්‍රථම වතාවට මගේ නේවාසික කුටිය වෙතට ඇයට ආරාධනා කලෙමි. සියල්ල අස්පස්කර ගමන් මලු දෙකකට මා සතුවූ දෑ අසුරා තිබූ බැවින් එහි නිදහස් පෙනුමක් ගෙන තිබුනාය. “මම නේවාසිකාගාරවලට හරිම කැමතියි. මොකද දන්නවද, ඒවායේ ඉන්න කොට නිතරම සමුගෙන්ම යන්නට සූදානම් බවක් තිබිය යුතුබව සිතට නැගෙනවා. ජීවිතය අත්පත්කර ගැනීම් පමනක් වෙන මහා අරගලයකට වඩා ඒ ස්වභවයට මම හරිම කැමතියි. මට හිතෙනවා එතැනදි හොඳ සමබර බවක් ජීවිතයට ගෙනෙනවා කියලා” මා ඇය වෙතට බැදුනු අපූරත්වය ඇගේ පිලිතුරින් යලිත් ඉස්මතුවිය. “මමත්” , ඇය සන්සුන්ව පැවසුවාය. ඉන් අනතුරුව ගලා ගිය හෝරා දෙකකට ආසන්න කාලය නියමිත සමුගැනීමේ වේදනව වසන්කරන්නට මෙන් අතීතය මෙන්ම යලි වන්නට නියමිත හමුවීම ගැන නෙක ආකාරගත් දෙබසින් පිරී තිබිනි. “ඒක හරිම අහබු හමුවීමක් සේම හරිම අපූරු හමුවීමක්” අප හමුව පිලිබදව මට දැනෙන සමස්තය වචන බවට පෙරලන්නට මම උත්සාහ කලෙමි. “මුලින්ම මම දෙගිඩියාවක සිටියත් බොහොම ඉක්මනින් ඔබ මාව හරිම සුහඳ සබඳතාවයකට ගෙන ගියා. දන්නවද, ඔබගේ අපූරු සුහඳ, විවෘත, පුලුල් බව මග හරින්නට කෙනෙකුට ලෙහෙසියෙන් බැරි තරම්. මට මතකයි අපි හ්යමුවුනු මුල්ම දවසක ඒක මගේ දින සටහනකත් තබන්නට මට අවශ්‍ය උනා”. සැබවින්ම අපූරු මිනිසුන් එකිනෙකා හමුවන්නේ විටක සිතාගන්නට කිසිසේත් නොහැකි සුලු නිමේශයන් තුලය. තවත් විටක හරිම අතාර්කික ආකාරවලටය. ඒවා අතරින්ද ඔවුන් එකිනෙකා බැදෙන්නේ වඩාත් කලාතුරකින්ය. වඩසත්ම අපූරු කාරනය වන්නේ මේවා අතරින් ඉඳහිටක අපූරු දෑ ලොවට ගෙනෙන්නට පවා ඒ මිනිස් සබදතා මහත්සේ අපූරුවේ.(62)
අවසානයේ පුරා වසරක කලයක් ඔබ මොබ ඇවිද ගිය, නෙක අසිරි විඳි නගරයෙන් තාවකාලිකව සමු ගන්නට කාලය එලැබිනි. උද්‍යානය, කඳු මුදුනත, හැදෑරුම් ආයතනය , අවන්හල විශාල වගා බිම් අතරින් දිවෙන රේඛාවන් බදු මාවත් වැනි බොහෝ දැයින් සමුගන්නට මනස සූදානම් උවත් ජීවිතයේ ප්‍රථම වතාවට සමුදෙන්නට නොහැකි යමක් ජීවිතය වෙතට පැමින ඇති බවක් තදින් දැන්නට පටන් ගති. මොහොතකට මනස තදින් ඒ දෙසට යොමුකොට තත්වය සරල කරගන්නට උත්සාහ කරන විට පැහැදිලි වූවේ ඇය හුඳු මිනිස් දියනියක වීමටත් වඩා අප අතර බෙදා හදාගන්න බොහෝ බුද්ධි කාරනා, හැදැරුම් කාරනා මෙන්ම ලොව රස විදීන්නට වන සමාන හැකියාවන් ජීවිතයෙන් මග හැරිය නොහැකි තරම් ප්‍රබලව අප අතර වන බවකි.
ගුවන් තොටට වන ප්‍රධාන මාවත බොහෝ දුරක් වගා බිම් අතරින් වැටෙන සරල රෙඛා ස්වභාවයකින් යුක්ත විය. වරක් මා ඇයගේ නේවාසිකාගාරය වෙතට ගිය මොහොතකදී අප ඇවිඳ ගිය මාවත දෙපසින් වූ වගා බිමෙන් හමා ආ අපූරු සිත් ප්‍රබෝධ කරවන සුලු ධාන්‍ය සුවදක් ක්ශනයෙන් සිත රසවත් අතීත මතකයන් වෙතට ‍රැගෙන යන්නේ අපූර්ව ආකාරයටය. දොඩමලුබවට වඩා නිහඬ බව දෙදෙනාමට අවශ්‍ය තිබෙනවා විය හැක. සමහර විටක ඉතිරිව ඇති හෝරාවක කාලයතුල අවසන් කර ගන්නට කිසිසේත් නොහැකි තරම් බව හැගෙන දෙබවකට පිවිසීමට වඩා සැහැල්ලුවක් බව දෙදෙනාම පිලිගෙන ඇති සෙයකි. සුක්කානම මත ‍රැඳි ඇගේ අතක් මෘදුව ස්පර්ශකරමින් “මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි.” කියන්නට මට අවශ්‍ය විය.(63)