රාජසිංහ රජුගේ මරනින් පසු සීතාවක රජබවට පත්වූවේ රාජසූරිය කුමරාය. රජ බවට පත්වන විට ඔහු සිටියේ එල්ලාවල ප්‍රදේශයේය, මාන්නප්පෙරුම මොහොට්ටාල, රාජසූරිය කුමාරයා රජතන්හි පිහි‍ටුවා ඔහුගේ බාල සොහොයුරු ජයසූරිය කුමරා බෙලිගල් කෝරලයේ තුන්තොට වාඩියේ නතර කල බව රාජාවලිය සඳහන් කරයි. ජයසූරිය කුමරු බෙලිගල් කෝරලය පාලනය සදහා පත්කල බව කූ‍තෝද සඳහන් කලත් මේකිසිවක් ගැන විස්තර චූලවංශයේ සදහන් නොවේ.
රාජසූරිය කුමරු එල්ලාවල සිටි අවදියේ දොඩම්පේ ගනිතයගේ දුවක හා අනියම් සම්බන්ධයක් පැවත්වූ බවත්, රජවීමෙන් පසු ඇය සීතාවකට ගෙන්වා මානියම්ගම නතර කල බවත් රාජවලියේ වැඩි දුරටත් සන්දහන් වේ. එක්වන රාජසිංහ රජුගේ දුව වූ බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාලගේ කුමන්ත්‍රනයක් නිසා රාජසූරිය කුමරා මරණයට පත්විය. රාජවලියේ සදහ්න් විස්තර අනූව රාජසූරිය කුමරා දිනපතා රාත්‍රියේ තම අනියම් බිරිය සිටි වාඩියට යෑම සිරිතක් කරගෙන සිටියේය. මේ අනූව දොඩම්පේ ගනිතයාගේ දුව නතර කර තිබූ වාඩිය සීතාවක් සිට ටික වෙලවකදී පයින් යා හැකි තරම් දුරකින් පිහිටිය යුතුය. ජයසූරිය කුමරු නතර වී සිටි තුන්තොට වාඩිය බෙලිගල් කෝරලයේ වූ නිසා දොඩම්පේ ගනිතයාගේ දුව රඳවා තිබූ වාඩිය වෙනත් තැනක පිහිටිය විය යුතුය.
මේ කාරනය නිගමනය කර ගැනීමට තුඩු දෙන කරුනු සදහන් ලිපි ලෙඛන කිසිවක් නැති නිසා ජනප්‍රවාදයේ පවතින කරුනු වල පිහිට සෙවීමට සිදුවේ. සීතාවක රාජ්‍ය සමයේ ගැටහැත්ත, බෝපැත්ත හා තලාපිටිය ඔස්සේ රත්නපුරයට හා දෙනවකට ප්‍රධාන මාර්ගයක් තිබුනි. සීතාවක සිට සපරපුරයට සිය සැවුලාද ගමන් ගත්තේ මේ මාර්ගයේය. සීතාවක සිට මානියම්ගම හරහා පලමු මාර්ගයට සම්බන්ද වන අතුරු මාර්ගයක්ද විය. මේ මාර්ගයේ මානියම්ගම ගම්සීමාවේ උස් ගොඩැල්ලක මුර පලක් වූ බව පැරනි අය කියති. මේ ස්ථානය කඩවතක් මෙන්ම, රජු ගිමන් හරින ස්ථානයක් ලෙසද තිබූ බව ජනප්‍රවාදයේ පවතී. මායාදුන්නේ හා රාජසිංහ යන දෙදෙනාම විවේක ඇති විට රජපවුලේ අය සමග සහ පිරිවරින් මේ ඉස්ථානය හරහා බිසෝ දොලට දිය නෑම සදහා යෑම සිරිතක් කරගෙන තිබූ බවද කියති. මෙසේ යන එක් වැසිදිනක මඩගම්මන නම් ස්ථානයේ කුඹුරක් කොටමින් සිටි තරුන ගොවියෙක් වර්ෂාවෙන් වැලකීමට තමන් කොටමින් සිටි උදැල්ල කුඩයක් සේ හිසලා සිටිනු දැක උදැල්ලේ ප්‍රාමනයත් තරුනයාගේ කාය ශක්තියත් ගැන පුදුම වී ගම්වරයක් ලෙස මඩගම්මන ගමද පවරා එම තරුනයා සීතාවක යුධ සේනාවට බඳවා ගත් බවද කියති. මේ මාර්ගයේ මුර පිල තිබූ ස්ථනය අද හැදින් වෙන්නේ රජ කෑල්ල නමිනි. අවට ප්‍රදේශය රාජකීය උයනක්ව තිබූ බවද කියති. 1900 දී පමන මෙම ඉඩම වගව සදහා එලිපෙහෙලි කරන අවස්ථාවේ අඹ, ජම්බු, පේර, දොඩම් වැනි පලතුරු ගස්ද , ඉද්ද, කොබෝනීල, වතු ශුද්ධ හා රුකත්තන වැනි මල් වැගඩ්ග බහුලව තිබූ බව ඇසින් දු‍ටුවෝ කියති. මේ ස්ථානයේදී කුඩා ඇලවල් තුනක් එකතුවී රිටිගල ඇල ගලන නිසා “තුන්තොට” යනුවෙන් ව්‍යවහාර කල බවද වැඩි දුරටත් කියති. අද මේ ස්ථානය හැදින්වෙන්නේ “තුම්මෝදර” යන නමිනි. පසකින් පිහිටි වත්ත ද තුම්මෝදර වත්ත නමින් හැඳින් වේ. “තුන්තොට” හා “තුම්මෝදර” යනු එකම තේරුම ඇති වචන දෙකකි. සීතාවක රාජධානියට ආසන්නව මෙහි සදහන් තුන්තොට වාඩිය, දොඩම්පේ ගනිතයාගේ දුව නතර කර තිබූ ස්ථානය විය යුතුයැයි සිතිය හැකිය. රාජකීය යන් මරනයට පත්කල පෙතන්ගොඩ උයන, ගොලෑබොක්කේ පිට්ටනිය වැනි ස්ථාන හඳුනා ගැනීමට හැකිව තිබියදී රාජසූරිය කුමාරයා මරනයට පත්කල මනියම්ගම වාඩිය පිහිටි ස්ථානය, ස්ථිර වශයෙන් හදුනා ගැනීමට නොහැකි වීම අභාග්‍යකි.