පින්නපොල වැව හා හෙන්ඩු ගෑ ගල
සීතාවක වී ගොවිතැනට තෝතැන්නකි. සීතාවක පාලකයන් කෘෂිකාර්මික කටයුතු වලට ඉදිකල වැවක නටබුන් වෙහෙරකඩ ගල අසල පින්නපොල ගම්මානයේ දැක ගත හැකිය. වැව් බැම්ම අඩි 20*20 පලල අඩි 15ක පමන උස අඩි 300 පමන දුරට ඉදිකර තිබී ඇත.රජවාසලට අයත් ගව පට්ටිය සිටි ප්‍රදේශය වැව අසලම පට්ටියවත්ත ලෙස හඳුන්වයි. දිය නෑමට වැවට රැගෙන ආ අලි ඇතුන් දියෙහි බස්සවා ඇත් ගොව්වන් හෙන්ඩු ගෑම නිසා ගෙවී ගිය ගලක් වැව් ඉවුර අසල අදත් දැක ගත හැකිය. ගම් වාසීන් හෙන්ඩු ගෑ ගල වශයෙන් හඳුන්වන මෙය පතල් වලකට පෙරලීම නිසා වසෙන් වැසී පවතී.
ඇත්පංතිය හා කිරිබත්ගල
වලග කර සතර පද රසඟය යන
සතඟ දෙරණ සුපිහිටි තඟු දළ දුළන
මතග කැලන් සිටිනා ඇත් හල නොමින
බලග මිතුර තොප යන වම්පස පෙනෙන
තැන් හතක් පොලොවේ පිහිටන මහත් දළින් යුතු හස්ති සමූහයක් සිටින වම් පස පිහිටි ඇත්හල බලන්න. සැවුල් සංදේශය -103
සීතාවක රජමාලිගා භූමිය අසලින් ඇති මාර්ගය ඇත් පංතිය පාරය. එහි කෙලවර පිහිටි භූමිය ඇත් පංතිය හෙවත් ඇත් ගාලය. රාජසිංහ රජතුමා යුද්ධයට මෙන්ම විවිධ කාර්ය සදහාද අලි ඇතුන් යොදා ගත් අතර අලි අල්ලන ඇත් ගාල් ගනනාවක් සීතාවක අවට පිහිටා තිබුනි. අල්ලාගත් අලි හීලෑ කරන හා හී ලෑ ඇතුන් බැඳ දමන ස්ථානය ඇත් පංතියයි. අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා සදහා ගැටහැති ඇල මෙන්ම පින්න පොල වැවද යොදාගෙන ඇත. හෙන්ඩු ගෑ ගලද වැව අසල ඇත. අලි ඇතුන් වැවට ගිය මාර්ගයේ අතුරා තිබූ කැපූ විශාල ගල් පුවරු කිහිපයක් මාර්ගය සංවර්ධනය කිරීමේදී හමුවී පාර අයිනේ තබා ඇත.
ඇත් පංතිය ආසන්නයේ ඇති විශාල ගල් කුලක් මත කිරි බත් කැබලි ආකාරයේ සටහනක් නෙලා ඇත. මෙහි කිරිබත් කැබලි සිය ගනනකි. ප්‍රදේශ වාසීන් මෙය කිරිබත්ගල වශයෙන් හඳුන්වයි. මෙම සටහන ගැටහැති ඇල ආසන්නයේ ඇති අතර කුමක් සදහා නෙලන්නට ඇත්දැයි සිත අගත නොහැකිය.