” මැණික්” වූ කලී ඛනිජ වර්ගයකි. පෘතුවිය නිර්මාණය වීමේදීද, එය පැවත ගෙන ඒමේදීද, හටගත්තාවූ වසර මිලියන ගනන් පැරනි භූක්‍රියාවලීන් නිසා ඛනිජ හට ගත්තේය.
පෘතුවියේ ඇතුලත ඇත්තේ ඉත අවිශාල උනුසුමකි. පීඩනයකි. ඇතැම් විට ගිනිකඳු වශයෙන් පිපිරී, පොළෝගැබින් “ලාවා” පවා ගලා එන්නේ මෙම පීඩනය නිසාය. පොලව ඇතුලත අධික උෂ්නත්වයක්, පීඩනයත් හට ගන්නා විට ඛනිජ වර්ග බිහිවේ. එම ඛනිජ වර්ග අතර මැනික් වලට ලැබෙන්නේ ඉහලම තැනකි.
මැනික් පොලව අභ්‍යන්තරයේ හට ගත්තද, වර්ථමානයේදී නම් ඒවා හමුවන්නේ එතරම්ම ගැබුරින් නොවේ. වසර මිලියන ගනනක අතීතයක් තිස්සේ මැනික් පිහිටියාවූ උස්බිම් පාංශු ඛාදනයට හෙවත් සෝදා පාලුවට ලක්වී මැණික් ඉල්ලම් සහිත භූමිස්ථරවල ගැඹුර අඩුවීම ඊට හේතු වෙයි. මේ ආකාරයට බිහිවූ ඛනිජ අතුරින් විශේෂ ගතිගුන සහිත ඛණිජ වර්ග මැනික් ලෙස ගනන් ගැනේ.
අපි මැණිකක අභ්‍යන්තරය ගෙන බලමු. විවිධ මූලද්‍රව්‍ය වල පරමානු “නිශ්චිත රටාවකට” එකට ගොඩ නැගීමෙන් මැණික් ගල් නිර්මාණය වේ. එහි භාහිර හැඩය සහ ගතිලක්ෂන කෙසේදැයි තීරනය වන්නේද මුලින් කී නිශ්චිත රටාවට අනූවය. මෙසේ නිශ්චිත රටාවක් ඇති ඛනිජ, “ස්ඵටික” ලෙස හඳුන්වයි. මැනික් ස්ඵටික වූ කලී ඒවාටම ආවේනික ගති ලක්ෂන පෙන්නුම් කරන ඛනිජ යන්ය.
මැණික් ගලක ගතිලක්ෂනද බොහොමයකි. වර්ණ සහ විවිධ ස්වාභාවික ලකුනු (නූල්) නිසා ඇතිවන සුන්දරත්වය, විනිවිධ පෙනීම, දුර්ලභ වීම, කල් පැවැත්ම, දැඩියාව, පැලීම් සහ කැඩීම් ලකුනු තිබීම, වර්ථනය, වර්ණාවලි සහිත වීම ආදිය ඒ අතර වේ. මැණික් ගල්වලට වර්ණ ලැබී ඇත්තේ ඇලුමිනියම් ඔක්සයිඩ් වැනි රසායනික සංයුතීන් නිසාය.
මේ ආකාරයට නිර්මාණය වී ඇති ඛණිජයන් අපි මැනික් කියා හඳුන් වන්නෙමු. අනාදිමත් කාලයක් මුලුල්ලේ විවිධ කටයුතු පිනිස භාවිතාකරන්නෙමු.