සැවොල් සංදේශයේදී භෛරව දෙවොලේ රැගුම් පුද හා සිතියම් නරඹා ඉක්බිති හරඟන විමනය්ට යන ලෙස සැවුලා උපදෙස් ලබයි. ඒ අනූව හරඟන විමනත් භෛරව දෙවොලක් ආයතන දෙකක් මෙන් හැඟේ.
රජවිමනේ පැවති තත්වයද කවියා විස්තර කරයි. තඟු ගන රන් ටැම්, දැව පේකඩ, කටහන් රූ බිතුසිතුවම් රන් කොත්, උඩු වියන් අවට සැදී සුදු තිර පහන් වැට අංගෝ පාංග වලින් මාලිගයේ පැවති ක්‍රමවත් භාවය පැහැදිලි වේ. පසන් සභා මඩුවෙහි රජු සිහසුන් අර සිටින විට රජසබේ පෙරෙවි බමුනන් අධිකරන හා රජ නීතී දත් ඇමතිවරු , වාසල මුඛවෙටිවරු, ප්‍රදේශ නායකයන්, මළල දොලුවර සෙනග සිටු සෙනවි ඈපා මාපා වරු, වන්නිවරු හා වන්දීන්ද රැස්වූ බව කියැවේ. රාජසිංහගේ මරණින් පසු මේ රජමාලිගයත් භෛරව කෝවිළත් පරංගීන් අතින් විනාශවූ බව චූලවංශයේ සදහන් වේ.
අද අවිස්සවෙල්ල නගරයේ උසාවි සංකීර්නය පිහිටි බිමේම එදා මෙපුර වීදියේ අධිකරන විමසූ මහපාය පැවති බව සිත අගත හැකිය. එතැනින් මඟුල් මහ වීදියේ සිට ගැටහැති ඇලට සමාන්තරව මහ මඟක් ගැටහැත්තේ කඩවත දක්වාත් එතැන් සිට සබරගමුව දක්වාත් පැවති බව සඳහන් වේ. මේ මග අසල වසුවිල් විට මහ මඬම තිබුනි. වසුවිල් විට මහ මඩම විශේෂයෙන් අවධානය යොමුවිය යුතු තැනකි. අද ගලපිට මඩම නමින් හැහින් වෙන්නේ මේ ස්ථානයයි. ආරාධනා කන්ඳට දකුනු දෙසින් ගැටහැති ඔය අසබඩ පිහිටා ඇත. වසුවිල (පසුවිල) එදා ගවයන් ලැගි ජල බිමක් විය හැකියි. වසුවිල – අවසුවිල වී පසුව අවිස්සවෙල්ල වන්නට ඇතැයි සිතියද හැකියි. මෙතැනින් වම් පස මතඟ කැල සිටි ඇත් හල විය. අදත් මේ හරිය ඇත් පංතිය නමින් හැඳින් වේ. ඊලගට සැවුලාට හමුවන්නේ ගැටහැත්තේ කඩවතයි. එහි හමුදාවක් රැකවරනයේ යෙදී සිටි බව සැවුල් සංදේශයේ කියවේ. ගැටහැති ඔය ඉහල පෙදෙසේ දෙයියාගල, මුරුතැන්ගල, හේවායින්න කන්ඳ වැනි ඓතිහාසික ගම් හමුවේ. සීතාවක සිට ගැටහැත්ත දක්වා එකල වූ මහා මාර්ගයේ දෙපස කොස් ගස් වවා තිබුන බව ශක්ෂි ඇත. එදා රජුට වරක සැපයූ පැනිවරකාවද මේ අතර වේ. මේ මග දෙපස තැනින් තැන දක්නා ලැබෙන හතරැස් උස් පස් ගොඩැලි මුරකුටි තිබුනු තැන් විය හැක.
පුරාන සීතාවක නගරයේ තවත් කොටසක් ඇත්තේ තල්දූව ගමේය. තෙල්දූව තල්දූව වූ බව පිලිගැනේ. මහනුවර විෂ්ණු දේවාලයේ රාජකාරි කටයුතු සදහා පොල්තෙල් කොප්පරා ආදිය සැපයූ ගම තල්දූවයි. එය අදත් දෙවාල ගමකි. දේවාලයේ සියළුම රාජකරී කටයුතු සදහා කැපවූ පරම්පරා වලට නියමකොට දුන් ඉඩම් තල්දූව කඹුරාපොල ආදී ගම්වල ඇත. ඉර හඳ කෙටූ පැරනි විහාර ලෙනක් කඹුරාපොල ගනේ වත්තේ ඇත.
– පොත පත ඇසුරෙනි
