– පැරනි සීතාවකපුරය
එදා සීතාවක මායා දුන්න නමින්ද හැඳින්වූ බව පෙනේ. මායා දුනු යනු මහයා දිනූ හෝ මහයා ජයගත් පෙදෙසයි. මහයා නම් මාහාධිපාද වරයෙකි. “දෙව්ගොන් . බිසොව් රැජුන කුස ඉපැද ඈපා මහයා සිරි වින්දෑ පිලිවෙල සෙයි රජ්වැ” මිනින්තලා ලිපිය අනූව රජවීමට පෙර මහයා තනතුර හොබවන බව පෙනේ. “මානියම්ගම” ද මහයාගේ නියම්ගම වියයුතුයි. එබැවින් මායාදුන්න පුද්ගල නාමයක් නොව ඉස්ථාන නාමයක් බව නිසැකය. මානියම්ගමත් මායදුන්නත් සීතාවකත් එකම ප්‍රදේශයක් හැටියට සැලකීම නිවැරදි යැයි සිතමි. සීතාවක පුරය නැමති වරඟනගේ කන යුගල දෙව්විමන හා රජවිමන හැටියයත්, වසා රොඳ සීතාවක ගඟ හැටියටත් සැවුල් සංදේශයේ වර්ණනාවෙයි. දෙව්විමන තල්දූවේ මහිඋරන්ඬි කෝවිලයි. රජවිමන මානියම්ගම බන්ඩාරවත්තේ මාලිගයයි. භෛරකෝවිලේ රාම රාවනා යුද්ධයද මහා භාරත යුද්දයද ඉස්කන්ධ කුමාරයාත් ඊශ්වරයාත් කල අසුර සටන්ද ඇඳ තිබුනු බව කියැවෙ.
ඒදා මේ දෙවොල සම්පූර්න වී තිබූබව පැහැදිලිය. භෛරව කෝවිළේ රැඟිම්බලා හරගන විමනට යන්නට සැවොලාට නියම කීරීමෙන් එකම බිමේ ආයතන දෙකක් පවත්වා ගෙන අයුරු පෙනේ. අධිකාරී සභාව පවත්වා අධිකරන විමසූ මහා පහය මෙපුර වීදියේ විය. අදද උසාවි පැවැත්වෙනුයේ ඒ බිමේය විය හැකී. එයින් ඔබ්බෙහි පසඟ තුරු නඳසහිත මගුල් වීදියයි. ගැටහැති ඔයට සමාන්තර මගෙහි යන සැවොලාට ඊලගට හමුවන්නේ විකුම් සිහමැති කල වසුවිල් විට මහ මඬමයි. ආරාධනා කන්ඳට එහා අද ගලපිටමඩම නමින් හැඳින්වෙන්නේ මෙතැනයි. වසුවිල ගවයන් ලැගි වලක් විය හැකියි. (පසුන් ගේ විල) වසු විල අවසුවිල වී අවිස්සාවෙල්ල වන්නට ඇත. එතැනින් වම්පස ගැටහැති ඇලෙන් එගොඩ ඇත්හලයි. අදත් එතැන ඇත්පන්තියයි. සීතාවකත්, ගැටහැත්තේ ආරක්ශක කඩවතත් අතර වූ පලල් මාවත දෙපස වටාත් තිබුනු කොස්ගස් අදද ඇත. මග දෙපස කිහිප පලකම මුරකුටි සේ සැලකිය හැකි උස් බිම් කඩවල්ද පෙනේ.
සීතාවක නගරයේ තව කොටසක් තල්දූව ගමට අයත්වේ. වීරසුන්දර බන්ඩාරට වලගම හා වට්ටාරම පවරා දීමෙන් ව්‍යාජයෙන් සීතාවකට ගෙන්වා ගොලෑ බොක්කේ බොරුවලක දමා මැරවූ කියවේ. ගොලෑබොක්ක (අද රේස්පිටිය) එදා උඩරටට වැටී තිබුනු මාර්ගයේය. රුවන්වැල්ලට ප්‍රධාන මාර්ගය වූවේ නාපාවල, කපුවැල්ල, දයිගල පැත්තෙනි. තල්දූවේ සති වෙළඳ පොලට වම්පසින් වූ උස් බිම අදත් ගණ පංතියයි. තැපැල්කාර්යාලය අසල බිම වලවු වත්තයි. කාගේ වලවුවද විමසීම වටී. තල්දූව නගරය පිහිටි බිම ආංගම් පිටිය ගොඩවත්තයි. එතැනදී යුධ ශිල්ප දවක්වන්නට ඇත. ප්‍රසිද්ධ මුස්ලිම් වෛද්‍ය පරම්පරාව විසූ හරියද (ගොඩ) වත්තයි. තල්(දූවේ) පිහිටි දූවේගොඩ මෙය නොවිය හැකිද? එදා ගඟ ගලන්නට ඇත්තේ මේ දූවේගොඩ වටාය. මුස්ලිම් වෛද්‍ය පරම්පරාවට රාජ වෛද්‍ය සේකර දූවෙගොඩ රනසිංහ මුදියන්සේලාගේ යන වාසගම පිරිනමා ඇත. මහනුවර විෂ්ණු දේවාල පෙරහැරට තෙල් සැපයූ තෙල්දූව තල්දූව විය. ගැටහැති ඇලත්, සීතාවක ගඟත් එකව ගලායමේදී මේ දූපත් ගොඩැලි වටවන්නට ඇත. සීතාවක ගන්ගට වඩා ගැටහැති ඔය ප්‍රබලව පැවති අවස්ථාවක ගැටහැති ඔය තවදුරටත් ඉදිරියට ගල විත් ගුරුපස්ගොඩ ප්‍රදේශයෙන් හැරී ගොලෑබොක්කේදී නැවත ගඟට එකවන්නට ඇත, තල්දූවට මැණික් ඉල්ලම් පහල වූයේ සීතාවක ගඟේ නොව ගැටහැති ඔයේ අවසාදිත තැන්පත් වීමෙනි. ගොරුපස් ගෝලී යනු ආඬි ගුරුවරු පස්ගොඩ කර ගඟ හරස් කල තැනයි.දැනුත් ගංවතුර වෙලාවට ගඟ ගලන්නේ මේ පැරනි මාර්ග ඔස්සේය.
