සීතාවක රජවරුන්ගේ මාලිගාව පිහිටියේ මනියම්ගම ගම්මායිම කෙරවලය. මානියම්ගම රජමහ විහාරය ඈත අතීතයේ සිට පැවත එන්නකි. මහ නුවර රාජ්‍ය සමයේ මේ විහාරයේ අධිපතිධූරය දැරුවේ ධම්ම දස්සි හිමියන්ය. උන්වහන්සේ ආදරයෙන් හදා වඩා ගත් ගෝලනමක් විය මේ ගෝල හිමියන් සිවුරු හැරගිය විට නැවතත් කැඳවා ගෙන වුත් මහණ කරනු ලැබීය. තුන් වෙනි වතාවේත් සිවුරු හැර ගිය පසු නැවත පැමිනියේ නැත. මේ ශෝකයට හා කලකිරීමට පත් දම්මිදස්සී හිමියෝ පහත සදහන් කවි දෙක කියමින් ශෝකය තූනී කරගත්හ.
සිතාගෙන උනිමි පසුව වෙයි නිවන
පතාගෙන ජාති මම ලැබූ පුත් රුවන
ඇතා නොවෙයි කේසර සිංහා රජු න
පුතා මගේ නැති වුනි රති ගඟේ පැන

දෙවතාවක් පැවිදි කෙරුවයි නිවන් පතා
නවතා ගන්ට බැරි විය ඔහුගේ විපතා
මෙවතා වෙහි මට නොකියා ගියයි පුතා
දේවතා බණ්ඩාර බලයෙන් වරෙන් පුතා
(රංගේගම ගමගේ මොහොට්ටි හාමිගේ මතකයෙනි)

මානියම්ගම නැගෙනහිර මායිම සීමාවන්නේ යකහ‍ටුවාව කඳු වැටියෙනි. මේ කඳු වැටියේ දකුනු කෙරවල ඔරුකන්ඳ නමින් හැඳින්වේ. 1930 මැයි මස හය වැනි දිනය වන විට දින කිහිපයක සිට ඇහහැලුන ධාරානිපාත වර්ෂාව උච්චතම අවස්ථාවට පැමින තිබුනි. එදින සවස හතර පමන වන විට ඔරුකඳ පාමුල පදිංචිකරුවෝ අනියත බියකින් සැලුනාහ. රාත්‍රී ආහාරය පිනිස අවශ්‍ය දේ කටයුතු ගෘහනියන් ඉකමන් කල අතර පිරිමි පක්ෂය හරකුන් දීගලි කිරීම මල් කැපීම ආදියෙහි නියුත්ත වූහ. අනතර්ක සේයාවක් ඉව වැ‍ටුන පල්ලේ කන්දේලාගේ සලොන්චියා මල් කැපීම සදහා කන්ද උඩට නැග්ගා පමනි මුලු පෙදෙසම දෙවනත් කරමින් හෙන හඬක් වැනි භයංකර හඬකුත් සමග ඔරුකන්දේ අඩි පන්සීයක් පමන කොටසක් ගස් ගල් සහිතව පහතට ඇඳ හැලෙන්නට විය. කඳු පාමුල ගෙවල් යට විය. ඒවායේ වූවන්ට කුමක් වූවාදැයි අදවන තුරුත් දැන ගන්නට නැත. අමුනක පමන වූ කුඹුරක් ඒ අසලින් ගලා ගිය රිටිගහ ඇලත් නායෙන් යට විය. ඔරුකඳ මුදුනේ විශාල රුකත්තන ගසකි. මේ වෘක්ෂයට අධිගෘහිත දේවතාවෙක් වසතීයී විස්වාසයක් පවතී. කෙම්මුර දිනවල දේවතා එලියක් මේ ගසට පැමිනෙනවාත් ගසින් ඉවත්ව යනවාත් ඇසින් දු‍ටුවෝයැයි කියන අය බොහෝය.
– පොත පත ඇසුරෙනි