පියා මැරීමෙන් නොනැවතුන රාජසිංහයන් සිය එක කුස ඔත් සොයුරන්ද මර දමන්නට ඇතැයි සිතිය හැකිය. අලගේශ්වර යුද්ධය නැමැති කෘතියෙහි කියැවෙන අන්දමට මයා දුන්නේ රජුට මහ රජ්ජුරු බණ්ඩාර, තිඹිරිපොලේ මහරජ්ජුරු බණ්ඩාර, සන්තාන බණ්ඩාර , ටිකිරි රජ්ජුරු බණ්ඩාර කුමර වරුන් සතර දෙනෙක් වූහ. මින් ටිකිරි රජ්ජුරු බණඩාර නම් පලමු වන රාජසිංහයෝය. මහරජ්ජුරු බණඩාර විසි වැනි සියවසේදී මියගිය බවද එහි කියවේ. තිඹිරිපොලේ මහරජ්ජුරු බණ්ඩාර ගැන හෝ සන්තාන බණඩාර ගැන කිසිදු තොරතුරක් අනාවරනය නොවේ. ඇතැම් විට රාජ්‍ය පිලිබඳ උමතුවෙන් ක්‍රියාකල රාජසිංහයන් මේ දෙදෙනාද මරා දැමූ බැවින් ඔවුන් පිලිබඳ තොරතුරක් නොලැබෙන බව ඉතිහාසාඥයෝ විස්වාස කරති. එහෙත් එය අනුමානයක් පමනය. රාජසිංහයන්ට සිටි එකම පුතාද ඉහු විසින් මරා දැමූබවක් ක්වේරෝස් සදහන් කර ඇත. කෙසේ වුවද මෙ තොරතුරු සත්‍ය නම් රාජසිංහයන් ගෙන් හිස්වූ සීතාවක රාජ්‍යය ඉදිරියට ගෙන යන්නට සිටිය උන්ද ඔහු අතින්ම විනාශ වූ බව පිලිගත යුතුය.
රාජසිංහයන්ගේ කෲරත්වය දක්වන මීලග කරුණ නම් ඔහුගේ නැගීමට අත දුන් සිංහලයේ ප්‍රධානීන් ඔහු විසින්ම සැක කොට මර දැමීමයි. මෙසේ මරා දැමූ ප්‍රධානීන් අතර උඩරට රාජධානිය අල්ලා ගැනීම සදහා එහි පාලකයා වූ කරලියැද්දේ බංඩාරට විරුද්ධව මෙහෙය වූ සටනේදී රාජසිංහයන්ට ලගින්ම සිට උපකාරී වූ පේරාදෙනිය රජපෙල පතට අයත් වීරසුන්දර බංඩාරද වේ. රාජසිංහයන්ගේ කෲර පාලනයන්ට එරෙහිව උඩරට ප්‍රදේශයේ කැරලි කිහිපයක්ම පැන නැංගේය. සේතුපාල බංඩාර යටතේ එක් කැ‍රැල්ලක් පැන නැගි අතර, දොන් ප්‍රැන්සිස්කෝ තවත් කැ‍රැල්ලක් මෙහෙය වීය. රාජසිංහයන් මෙය වීරසුන්දර බංඩාරයන්ගේ වැඩකයැයි සැක කලේය. ඉක්බිතිව සිදුවූ දේ රාජාවලිය මෙසේ විස්තර කරයි. “රාජසිංහ රජ වීරසුන්දර බංඩාරට වලගම් වට්ටාරම දෙනවා ය කියා දිවුරුම් දී උපායෙන් ගෙන්වනු සදහා වික්‍රමසිංහ මුදලින් හා සෙනවිරත්න මුදලින් හා දෙදෙනා යවා කැඳවා ගෙන අවුත් ගොලෑ බොක්කේ වීදියේ වල කපා කොල අතුරවා වසා තබා වීරසුන්දර බංඩාර මැදිකරගෙන මුදලි දෙදෙනා දැලෙන් අවුත් වල දෙකොනෙන් යන විට වීර සුන්දර බංඩාර බොරුවලේ වැටී උල් ඇනී මලේය. වලගම වට්ටාරම දෙනවාය කීවේ වලකපා වැටෙන්නට සලස්වාදීමටයයි දැන ගත යුතුයි.” (වතුවත්තේ පේමානන්ද සංස්කරනය – 1959-)
සීතාවක රාජධානිය ගොඩ නැගීමෙන් සැම සටනක දීම රාජසිංහයන්ට මහත්සේ උපකාරී වූවා පමන්ක් නොව ඔහුගේම අගමැතිව සිටි වික්‍රසිංහ අධිකාරම්ද සෙනවිරත්න මුදලි විසින්ද කියන ලද ගතු අසා මැරවීමට තරම් රජ සාහසික විය. රාජසිංහ රජ උඩරට අවුල් උන බව අසා සීතාවකට වැඩමවා සිට වික්‍රමසිංහ මුදලින්ට උදහස් වදරපු විට වික්‍රමසිංහ මුදලින්ට රක්තාතීසාරයක් වැලදී කල්හි වසදමා බෙහෙත් දෙන්නට වෙදැදුරට කීවිට ඒ සැටි දුන්නාම වික්‍රම සිංහ මුදලි මලේය- මෙපමනක් නොව රාජසිංහයන් සතුව කොතරම් කුරිරු හදවතක් තිබුනේද යත් 1587දී කොළඹ කො‍ටුව වැටලීමට පෙර යුද්ධයෙන් ජයපතා දෙවියන් සතු‍ටු කිරිමට අවුරුදු 10ට අදු දරුවන් 500ක් මරා නර බිලි පූජාවක් පවත්වා ඔවුන්ගේ ලේ කල්දේරම්වලට එකතුකරවා ඒ ලේ යුධ සේනාවට ඉසින ලදැයි කූටෝ වාර්ථාකර ඇත.