මෙයින් පැවසෙන පරිදි රාජසිංහ ශෛවයෙකු වීමෙන් පසු ක්‍රියා කොට ඇත්තේ උන්මත්තකයෙකු පරිද්දෙනි. තම බලය හා පැවත්මට තර්ජන එල්ල වීමෙන් ආරක්ෂාව පතා සීතාවක රාජ්‍යයට පැමිනි භික්ෂූන් වහන්සේට මේ හේතුවෙන් සිදුවූයේ ජීවිතය වත් බේරා ගැනීමට අවස්ථාවක් නොලැබී යාමයි. මැරුම් නොකා ජීවිතයවත් ආරක්ෂාකර ගැනීමට සිතූ සමහර භික්ෂූහු සිවුරු හැරගියහ. සමහරු වනගතව අප්‍රකටව ජීවත්වූහ. සිවුරු හැර දැමුවෝ විහාර නින්දගම් භුක්තිවිඳිමින් ජීවත් වූහ. මේ විනාශයට රජු දැඩි ලෙසින් පොලබවා වාසි ගැනීමට මාන බැලුවේ ශෛව පූජකයන්ය. ශෛව පූජකයෝ බුදු සසුන වනසමින් රටේ සාරය සූරා ගත් අන්දම සහ පසුව ඔවුන් දේශලාන වශයෙන් බලවත් තත්වයකට පත්වූ අයුරුද මන්දාරම්පුර පුවතේ සඳහන් වේ. මෙකල රාජසිංහ රජුගේ අනින් මන්දාරම්පුරයට පැමිනි ගිරි නම් තවුසා රාජසිංහ රජුගේ මරනයයෙන් පසු පලමු වන විමලධර්මසූරිය රජුට එරෙහිව කැ‍රැල්ලක් පවා ඇති කිරීමට සමත්විය. ඔවුන්ගේ බල බිඳ පන්නා දමන ලද්දේ විමලධර්මසූරිය රජතුමා විසිනි. රාජසිංහ රජුගේ ප්‍රධාන පුරෝහිතයා අරිට්ටිකී වෙන්ඩු නම් ආඬිගුරාය. හැම තැනම ශිව පූජකයින් නවත්වා බෞද්ධ විහාර පන්සල් සතු දේපල ඔවුන්ට පවරා දීමට කටයුතු කල රාජසිංහ ශ්‍රීපාදස්ථානය ශිව පූජකයන්ට පවරා දුන් බව චූල වංශයේ සඳහන් වේ.
මුල පටන් දේශාභිමානය හා ජාතිකානුරාගයෙන් අභීතව සතුරන්ගෙන් රට මුදා ගැනීමට උදාර අන්දමින් ක්‍රියාකල සීතාවක රාජසිංහ සිංහල දීපයේ උදාර සංස්කෘතියට හා අනන්‍යතාවට මාධ්‍ය වූ බුදුසමයේ පරම සතුරෙකු වීම 16 වන සියවසේ මාහාම ඛේදවාචකය බව කිව යුතුය,. මාහාසංඝය වහන්සේ ඔහුට විරුද්ධවිම මෙයට මුල්වූ කරුන වශයෙන් පිලිගනු ලැබේ. ඒ වීරෝධය දේශපාලන වශයෙන් නොව ආගමික වශයෙන් වූවක් ලෙස පිලි ගැනිමට පුළුවන. ඔහු සීතාවක රජුවශයෙන් පාලනය කලේ දශකයක තරම් කෙටි කාලයකි. අඩ සිය වසක තරම් කාලයක් පාලනයට සහය වූවේ පියාත් සමගිනි. ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුමතකල නිසාම කෝට්ටේ අතහැර ගිය භික්ෂූන්වහන්සේලා සීතාවක ආරක්ෂා ස්ථානය හැටියට පිලිගත්හ. දළඳ වහන්සේත් සීතවකට ගෙන යාමෙන් ඒ බව වඩාත් තහවුරු වේ. ඒ අනූව ඔවුහු පිලිබදව සංවිධානාත්මකව භික්ෂූන් වහන්සේ අතර ගොඩ නැගුනු කිසිදු විරෝධතාවක් මුලදී නොපැවතීම බව සිතා ගත හැකිය.