කන්ඳ උඩරට ජයවීර රජුගෙන් ආධාර ලබා ගත් වීදියේ බණ්ඩාර අලුත් නුවරට පැමින සතර කෝරලයේ කැරලි ඇතිකල විට රාජසිංහ කුමරුගේ සේනාවට පරාජයවී කන්ද උඩරටට ගියේය. උඩරට ආධාර ඇතිව සතර කෝරලයේ පෙරලි කිරීම දිගටම කරගෙන යාමට නොහැකි විය. සීතාවක මායාදුන්නේ රජුගේ නියමය පිට අකමැත්තෙන් වුවද වීදියේ බණ්ඩාර උඩරටින් පිටත් කිරීමට ජයවීර රජුට සිදුවිය. වීදියේ බණ්ඩාරගේ ඊලග රක්ෂස්ථානය වූවේ මුණ්ඩකොණ්ඩපොල නුවරයි. සීතාවකට විරුද්ධව සත්කෝරලයේ එදිරිමාන්නසූරිය රජු හා එකතුව බලය පිහි‍ටුවා ගැනීමට සංවිධානය කලේය. කැරලි ගැසුවේය. “වෙලායුධ” ආරච්චියා ලවා එදිරිමාන්න සූරිය රජු මරවා සත්කෝරලයේ බලය අල්ලා ගත් වීදියේ බණ්ඩාර තම පුත් කෝට්ටේ ධර්මපාල රජුන් හා ප්‍රතිකාල් නිලධාරීන් සමග සාකච්ඡා කර කෝට්ටේ සේනාවක්ද ලබා ගෙන සතර කෝරලයේ කැරලි ගසා පුවක්වැල්ලේ තොට වාඩිලා ගත්තේය. මෙවර තිඹිරිපොල කුමරුගේ සේනාවට පරාජය වූ වීදියේ බණ්ඩාර මුණ්ඩකොණ්ඩලපොලට පසු බැස්සේය. ආධාරයට ගිය කෝට්ටේ හා පෘතුගීසී සේනාව කෝට්ටෙට ගියහ. වීදියේ බණ්ඩාරගේ මේ ක්‍රියාකලාපය නිසා සතර කෝරලයේ හා සත් කොරලයේ නොසන්සුන් තත්වය මර්ධනය කිරීමට කාලයත් සේනාවත් යොදවන්නට සිදුවීම සීතාවක රාජ්‍යයට ඔරොත්තු නොදෙන තරම් විය.
පෘතුගීසීන් පලවා හැර කෝට්ටේ රාජ්‍යය අත්පත්කර ගැනීමට මායාදුන්නේ රජතුල තිබූ බලාපොරොත්තු ඉෂ්ඨකර ගැනීමට බලවත් බාධකයක් විය. මේ වන තෙක් වීදියේ බණ්ඩාරට එරෙහිව මායාදුන්නේ රජු සටන් මෙහෙය වූවේ ඔහු විනාශකිරීමේ අදහසින් නොව ඔහු මර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙනි. මායාදුන්නේගේ මේ ඉවසීම සීතාවක රහු, තම මාමාගේ දුර්වලකමක් වශයෙන් වීදියේ බණ්ඩාර සිතන්නට ඇත. අවසානයේ වීදියේ බණ්ඩාර අල්වා ගන්නට අදහස් කල මායාදුන්නේ රජ සේනා සහිතව රාජසිංහ කුමරු පිටත් කර හැරියේය. දෙමස්සිනන් අතර අවසාන සටන සිදුවූයේ මුණ්ඩ කොණ්ඩපොල නුවරදීය. පලමු සටනින්ම දුර්වල වූ වීදියේ බණඩාර තම සේනාව සමග පුත්තලමට පසු බැස්සේය. එතැනද වූ සටනින් පරාජය වූ ඔහු තම්මැන්නා අඩවියට පසු බැස්සේය. මෙතැක් කල් වීදියේ බණ්ඩාර සමග තැනින් තැන යමින් සටන් මෙහෙය වූ ගිරාඉඹුලේ පලිස්වඩන පෙරුමාල් ආරච්චි, වීදියේ බණ්ඩාර අතහැර සේනාවකුත් සමග රාජසිංහ කුමරුට එක්විය. මේ වෙනස් වීමත් සමග වීදියේ බණ්ඩාරගේ සියලු බල බිඳී ගියේය. එකම පිහිටට සිටියේ අඹේපිටියේ විජේකෝන් මුදලිගේ පුත් නයිදේ හා ඔහුගේ සේනාවත්ය. යායුතු තැන් නැතිවූ තැන වීදියේ බණ්ඩාර නයිදේ හා ඉතිරිවූ සේනාව සමග යාප ප‍ටුනට ගොස් තාරාකුලම් නම් ස්ථානයේ වාඩිලා ගත්තේය.