ක්‍රි.ව. 1412- 1467 වකවානුවේ ඒකීය රාජ්‍යයක් වූ කෝට්ටේ බෙදී යාම නිසා 16 වන සිය වසේදී සීතාවක රාජධානිය බිහි විය. යාපා ප‍ටුන – කොලොන්තොට හැර අනෙක් ප්‍රදේශ සීතාවක නිසා ගිනියම් විය.
මායා දුන්නේ රජ – කැලිකට් හි – සැමොරින් “මොසල්මානුවරුන්ගේ” උපකාරයෙන් සතර කෝරලේ – තුන් කෝරලේ – දෙවන – කුරුවිට කෝරලය හා හේවාගම් කෝරලය තුළ අනසක පතුරා ඔහුගේ ඇවෑමෙන් ටිකිරි කුමරු රාජසිංහ සම්ප්‍රාප්තිය සිදුවිය. මේ කුමරුගේ ප්‍රසූතියදා පරංගි කො‍ටුවේ බැමි පුපුරා ගියේලු.
“කු‍තෝක්වෙරෝස්, ස්පිලිබර්ජන්, බාල්දියෙස්, පර්ගසන්” වැනි යුරෝපීය ලේඛකයෝ කුමරුගේ සහජාත, අවජාතභාවය ගැන විග්‍රහ කර ඇතත් “මන්දාම් පුර පුවත” කෘතියෙහි සාක්ෂීන් අනූව ටිකිරි කුමරු මායාදුන්නෙගේ සහජාත පුත්‍රයෙකි . ඔබටදා උපනා – තෙදයැයි බෙලෙන් දිලිනා දම් සිප් දැනෙනා – මෙකල රජෙකි බවෙකි හොබනා” එහි එන මෙකවිය ඊට සාක්ෂිවේ.
“රාජාවලිය- අලකේශ්වර යුද්ධය” කෘතීන්ට අනූව රාජසිංහ තුළ යක්ෂ මායම් බලවේග, ද්වාත්මක බලය, දේවාත්මක බලය, මනෝප්‍රභවය, මිනිස්කම අභිබවා ක්‍රියා කිරීම හා අද්විතීය ශාරීරික මානසික බලයක් ආරෝපණය වී තිබීම හා උත්පත්ති වාසනා ගුනය තිබී ඇත.
දශ්මා කඩු ශිල්පය ප්‍රගුණ කොට යුගාන්ත මාරුතය විනිවිදව යන අසරුවකු ලෙස රණකාමී යුද්ධයේ කෙළ පැමිණියෙකු ලෙස රාසිං නම් දැරීය. ” සැවුල් සංදේශයේ අලගියවන්න මුකවෙටිතුමා ඒ ගැන මෙසේ වර්ණාකරයි.
සොබන නකුල සරඹ දත් මෙහිමි ගෙන තට
ලෙසට විදුලි ලෙළවන රිසිනි අසු පිට
දෙපිට සිය දහස් වර වීදිය පිට පිට
මොහුට ඉන්සරි කවුරුද කගක පිට
රාජසිංහ රජු ශිව භක්තිකයෙකි. එනිසා බුදු සසුනට වෛර කළේය. ශාසනය වැනසුවේය. ශ්‍රමණධාරීන් කණාමැදිරි වලේ හැට ඈදුත්තක් ගිල්වා මරා දැමුවෝය. පීතා ඝාතකයෙකි. කෲර පාලකයෙකි. යන අදහස් ඔහුගේ සතුරන් පතුරවා හරි කටකථා වන්නට පුළුවන.
ටිකිරි කුමරුගේ පළමු සටන “අළුත් නුවර” මුල් කරගෙන වීදීය බණ්ඩාරට එරෙහිව සිදුවිය. දොන් ජුවන් ධර්මපාල , පෘතුගීසි , කන්ද උඩරට පෙරමුණු තුනට එරෙහිව එක්වර සටන් කරන විට ඔහුගේ වයස අවුරුදු 11-12-13 විය. රටේ එකීය භාවය ඉහළින්ම ඇති කළ පාලකයෙකි.
රාජ සිංහ රජුගේ දේශපාලනමය, සමාජමය පැත්ත බැලීය යුතුව ඇත. ජීවිත කාලයම යුද්ධයට කැපවීම නිසා ධර්මයට, කලාවට , ලේඛණ කලාවට කාලයක් තිබී නැත.නමුත් තල්දූවේ මුස්ලිම් පරම් පරාවලට “වෙදනම්බුනාම දී” ජාතිවාදී හැගීම් නොතිබුනු බව ඔප්පුකර ඇත. දෙල්ගමුවේ වැඩසිටි දළඳා හාමුදුරුවන්ට සිරිත් විරිත් ප්‍රකාර පෙරහැර පවත්වාද , සමන් දේවාලය ඉඩම් පිරිනමාද , අගමික හැගීම් පෙන්වාදී ඇත. සබරගමුව කන්ද උඩරට-කොළඹ සිට දිවෙන මාර්ගයේ කේද්‍ර කරගෙන වූ “සීතාවක” ආර්ථිකයේ මිශ්‍ර වෙළඳ රටාවන කෝපි- රබර්- කරදමුන්ගු- මැණික් – අලි ඇතුන් සරුවට තිබී ඇත. කැළණි නදී නිම්නය ආශ්‍රිතව සරු කෙත්වතු මගින් කෘෂිකර්මාන්තය නගා සිටවා ඇත. ඒ සදහා කුඩා වැව් තැනූ ඒවායේ නටබුන් අදත් ගැටහැත්ත- මානියම්ගම -පින්නපොල – ඇස්වත්ත-පෙතන්ගොඩදී දැක ගත හැක. පශු පාලනයද මැනවින් සිදුවී ඇත. කෘෂිකර්මන්තයේ මල් ඵල දැරූ “ඓතිහාසික මනියම්ගම කරල් පෙරහැර” අදද වාර්ෂිකව සිදුවේ. සීතාවක යුගය සාහිත්‍ය කලාවට අදුරු යුගයක් බව කීවත් මානියම්ගම වැඩ විසූ සිටිනා මලුවේ ධම්මපාල හිමි, හිස්වැල්ලේ ධර්මද්වජ පඬිතුමා , අලගියවන්න මුකවැටි තුමා ඒ සමයේ ප්‍රවීන ලේඛකයන් වූ අතර සැවොල් සංදේශය, කුසදාවක, සුභාෂිතය , මුණිගුණරත්න මාලාව ඔවුන් අතින් ලියවුන ඉහල පෙළේ කෘතීන්ය.