Back to Top

94 77 34 9191 6

036 2222 428

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පීඩා විඳිමින් සිටි යුගයේදී ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාසලක් ගම්බදව ඇරඹීම අත්‍යවශ්‍ය බව පෙනී ගිය කරුණකි. මොහාන්දාස් ද මැල් නීතිඥ තුමා වැනි ජනහිතකාමී ප්‍රභූවරුන් කිහිපදෙනෙකුගේ ආශිර්වාදය ඇතිව 1941 වසරේදී විදුහල ඇරඹුනේ තල්දූවේ වැලිකල බංගලාව නම් වූ ගොඩනැගිල්ලේ ය. පී.ජී.වල්පිට මහතා මුල්ම විදුහල්පතිවරයා විය. වසර දෙක තුනකින් පසු අනුරාධ තිලකරත්න විදුහල්පතිතුමාගේ කාලය තුල විදුහල දැනට පවතින මනරම් භූමිභාගයට ගෙන ඒමට හැකිවිය. සීතාවක නදිය, කොබෝතුරාකන්ද, යකහටුව මුදුන වැනි ස්වභාවික ස්ථාන වලට මැදිව පිහිටි මෙම ඉඩම ඒ.බී.එම්.සාලි මහතාගෙන් ලබාගෙන නව ගොඩනැගිලි දෙකක් තාවකාලිකව ඉදිකිරීම ඇරඹිණි. සිසුන්, දෙගුරුන් හා ගුරු පිරිසද මේ කාර්යයේදී සහය වූහ. නිදහස් අධ්‍යාපනය බිහිවීමත් සමඟම විදුහල රජයට පවරා දීමට අනුරාධ තිලකරත්න විදුහල්පතිතුමා ගත් ක්‍රියාමාර්ගය බුද්ධිමත් තීරණයකි. ජී.එම්. ද සිල්වා විදුහල්පතිතුමාග් සේවා කාලය තුල දෙමහල් ගොඩනැගිල්ල ඉදිවූයේ පිලිප් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන්ගේ අනුග්‍රහයෙන්ය. එකල අධ්‍යාපන ඇමතිව සිටි අයිවන් ටී දිසානායක මහතාගේ පූර්ණ අනුබලය ලැබිණි. විදුහල්පති නිවස, කාර්මික අධ්‍යාපන ගොඩනැගිල්ල හා ක්‍රමවත් වැසිකිළි ද ඉදිවිණි. විදේශාධාර මත කාර්මික අංශයටත් විද්‍යාගාරයටත් උපකරණ ලැබිණි. 1955 දී ඩෙන්සිල් ඒ ද සිල්වා විදුහල්පති ලෙස පත්විය. මෙකල පැරණි ශාලා දෙක ස්ථිර ගොඩනැගිලි බවට පත්විය. ක්‍රීඩාපිටිය ද ඉදිවිය. ආතර් ෆීල්ඩ් වත්තේ පාලකයාව සිටි එච්.ජී.පෙරේරා මහතාගේ පෞද්ගලික වියදමෙන් විහාර මන්දිරය ඉදිවිය. කාර්මික අංශයටත් විද්‍යා අංශයටත් ගුරුවරු පත්ව ආහ. සිංහල මාධ්‍යෙයන් අධ්‍යාපන කටයුතු ආරම්භ විය.

බෞද්ධ සංගමය මගින් ශීල ව්‍යාපාර, වෙසක් උත්සව, චිත්‍ර ප්‍රදර්ශන, පිරිත් දෙසුම් ආදිය පැවැත්විණි. චිත්‍රා වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය විය. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් විශාල පිබිදීමක් ඇතිවිය. විදුහලේ බාලදක්ෂ සේවයේ ද මෙකල විශාල ප්‍රගතියක් ඇතිවිය. 1959 දී ඒ.ජී.සුගතපාල මහතාගේ සේවා කාලය ආරම්භ විය. සංගීත අංශයට ගුරුවරයෙකු ලැබිණි. උසස් පෙළ කලා පන්ති ආරම්භ විය. උසස් පෙළ විභාගයට මුලින්ම පෙනීසිටි සිසුන් අතරින් ඩබ්ලිව්.ජී.කුලරත්න ශිෂ්‍යාට සරසවි වරම් හිමිවිය. ප්‍රමාණවත් ගුරුවරු නොසිටි බැවින් පී.ජී.දයාරත්න මහතාටත් සාර්ලිස් අමරසිරි මහතාටත් විදුහල්පතිතුමාටත් උසස් පෙළ පන්ති වල අධ්‍යාපන කටයුතු සඳහා කැප වී වැඩ කරන්නට සිදුවිය. නොබෝ කලකින් අවශ්‍ය උපාධි ගුරුවරුන් ලැබුණු විට උසස් පෙළ ශිෂ්‍ය සංඛ්‍යාව ද වැඩිවිය. අවුරුදු පතා සිසුහු බොහෝ දෙනෙක් සරසවි වරම් ලදහ. බැකු සේවය, ගුරු සේවය, හමුදා සේවය වැනි අංශ වලට එක්වී දිවයිනේ නොයෙකුත් ප්‍රෙද්ශ වල සේවය කරමින් විදුහලට උසස් ගෞරවයක් ම ලබාදෙති. පසුව වාණිජ හා විද්‍යා උසස් පෙළ පන්ති ආරම්භ විය. ක්‍රකට් පුහුණුව ද ශිෂ්‍ය භට පුහුණුව ද මෙකල ආරම්භ විය. අධාර පාසල් රජයට පවරා ගැනීමේ අවස්ථාවේ දී ශාන්ත මරියා විදුහලේ ගොඩනැගිලි වල වැඩිහිටි පිරිස් පදිංචි වූ අතර එම පාසලේ දරුවන්ද සීතාවක මැදි විදුහලට භාර ගැනීමට සිදුවිය. ගොඩනැගිලි වල අවශ්‍යතාවය කැපී පෙනුණ අතර සත්ගුණවත් ඩී.එස්.තිලකරත්න මහතා සිය පෞද්ගලික ධනයෙන් ගොඩනැගිල්ලක් තනා දුන්නේය. ගුරුදෙගුරු සංගමයේ මෙහෙයවීමෙන් ද නව ගොඩනැගිල්ලක් ඉදිවිය. එයට අධාර ලබා ගැනීමට පැවැත්වූ නාට්‍ය සංදර්ශණයේදී නියෝජ්‍ය විදුහල්පති සාර්ලිස් අමරසේකර මැතිතමා ඉදිරිපත් කළ සම්බුලා නාට්‍ය අතිශයින් ජනප්‍රිය විය. මෙම කාලයේදී මුල්වරට ආදිශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගත් නමුත් එය කාලයක් පවත්වාගෙන යා නොහැකිවිය.

මේජර් හෙන්රි සිල්වා විදුහල්පතිතුමාගේ සේවා කාලය විශේෂ ජයග්‍රහණ ලැබූ කාල පරිච්ජේදයක් විය. විදුහලේ ප්‍රගතිය ඉදිරියටම ගෙන යා හැකිවිය. ජීව විද්‍යාගාරය ලැබුණේ මේ සමයේදීය. සුගතපාල ගොඩවත්ත, ඩී.ඇස්.ගුණසේකර වැනි විදුහල්පතිවරුන්ගේ කෙටි සේවා කාලය තුල විද්‍යාලයේ දියුණුව ඉදිරියටම පැමිණීමක් සිදුවිය. එස්.එම්.මුණසිංහ මහතාගේ කාලයේදී ද නොමඳ සේවයක් ඉටුවිය. ගෘහ විද්‍යාගාරය ආරම්භ විය. විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සැලකියයුතු ප්‍රවර්ධනයක් දකින්නට හැකිවිය. තූර්ය වාදක කණ්ඩායමක් පුහුණුවූයේ ද මෙකලය. මේ වනවිට නැටුම් අංශයද උසස් අන්දමින් දියුණුවී තිබුණි. සිරිසේන විතානගේ විදුහල්පතිතුමාග් පැමිණීම විදුහලට ආශිර්වාදයක් විය. අධ්‍යාපන කටයුතු හා විනය පිළිබඳ විශේෂ අවධානයක් ඇති වූ කාල පරිච්ජේදයකි. අළුත් ආදිශිෂ්‍ය සංගමයක් ද ආරම්භ විය. ප්‍රාථමික අංශයේ ළඳරු උයන හා අළුත් ගොඩනැගිලි ඉදිවිය. මෙම කාලයේ දී 40වැනි ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදිණි. ඕ.ජී.පෙරේරා විදුහල්පති තුමන්ගේ කාලය තුලදී ක්‍රීඩාපිටියට යාබද විශේෂ ගොඩනැගිල්ල හා පියගැට පෙළ ඉදිවූයේ එච්.ටී. ද සී.එස්.ජයසේකර ගුරුතුමියගේ අනුග්‍රහයෙනි. 50වැනි ස්වර්ණ ජයන්තිය අයි.ඩබ්ලිව්.ගංකන්ද විදුහල්පතිතුමාගේ කාලය තුලදී ඉහලින් පවත්වන්නට යෙදුණි. පාසල් සංවර්ධන සමිතියත් ආදී ශිෂ්‍ය සංගමයත් උනන්දුවෙන් කටයුතු කරන අයුර මෙකල දකින්නට හැකිවිය. සීතාවක විඳු මෑණියන්ගේම ආදි ශිෂ්‍යයෙකු වූ ධර්මදාස කරඳන මහතාද උනන්දුවෙන් පාසලේ අභිවෘද්ධිය උදෙසා අතහිත දුන් විදුහල්පතිවරයෙකි. අත්‍යවශ්‍ය අංගයක් වූ රැස්වීම් ශාලාව මෙම කාලය තුල ලැබුණ මහඟු සම්පතකි. ඩී.ඒ.ඩී.ආර්.ප්‍රේමලාල් දෙල්පචිත්‍ර විදුහල්පතිතුමාගේ සේවා කාලයේදී 70වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත.

ආරම්භයේ පටන් සීතාවක විදු මාතාව පැමිණි සාර්ථක ගමනේදී මහ විද්‍යාලයක් වී මධ්‍ය මහ විද්‍යාලයක් බවට පත්වී වර්තමානය වනවිට ද්විතීයික පාසලක් බවට පත්ව ඇත.

http://www.seethawaka.sch.lk/history_school.html

http://www.seethawaka.sch.lk/history_school.html