මැණික් ඉල්ලම් පිහිටන්නේ කුමන මදිලියේ ඉඩම් වලද? යන්න පතල් කරුවෝ මැනවින් දනිති. ගංඟා, මිටියාවත්, කඳු වැටි අතර පිහිටි වගුරු බිම් සහිත තැනිතලා කුඹුරු යායක් ආදී බොහෝ තැන්වල මැණික් පිහිටන බව ඔවුහු අදහති.
ඉඩම් තොරා ගත්තද පතල් කැපිල්ල හිතුමනාපේට කරන්නට බැරිය. ඒ සදහා මැනික් අධිකාරියට ඇප මුදල් බැඳ පතල් ලයිසන් එකක් හෙවත් මැණික් පතල් කැනීමේ බලපත්‍රයක් ලබ ගත යුතුය. මෙම කටයුත්ත කරන්නේ පතකේ අයිතිකාරයා වශයෙන් සැලකිය හැකි ලයිසන් කාරයා විසිනි.
ලයිසන් කාරයා වූ කලී මැණික් අඩවියේ බොහෝම අපූරු චරිතයකි. පතල් කැපීම සදහා සුදුසු ඉඩමක් සොයන්නේ ඔහුය. ඉඩමේ අයිතිකරුවනට කථාකර ඔවුන්ගේ කැමැත්ත ලිකිතව ගෙන පතල් කැනීමේ බලපත්‍රය ලබා ගන්නේද ඔහුය. පතලක් කැපීම බොහෝ සේ මුදල් වැය වෙන කාර්යයකි. ඒ නිසා වියදැම් දැරීම පිනිස හවුල් කරුවන්ද සොයා ගත යුතුය. මීට අමතරව වතුර ඉසීමේ යන්ත්‍ර හිමි, මෝල් කාරයෙක්ද , පතල් මුක්කු හෙවත් රබර් ලී කොට ගැනීම සදහා ලි කාරයෙක්ද සොයා ගත යුතුය.
ඊට අමතරව හවුල් කාරයන් සමග කථාකර පතල් බාස් කෙනෙක් ඇතුලු වැඩ කරන පිරිසද සොයා ගත යුතුය. මේ සියල්ලම කර දෙන්නේ ලයිසන් කාරයාටය. ඉතා කෙටියෙන් කියනවානම් මැණික් පතලක් එහි මුල සිට අවසානය දක්වාම සංවිධානය කර ‍රැක බලා ගන්නේ ඔහුය.
මැණික් පතලයකින් ලැබෙන ආදායම වන්නේ එයින් ලැබෙන මැණික් ගල් අලවිකරලබා ගන්නා මුදල් සම්පතයි. එම ආදායම මැණික් අඩව්යට ආවේනික සම්මත පිලිවෙලකට ඉඩම් හිමියන් ලයිසන් කාරයන්හවුල් කරුවන් සහ පතල් කරුවන තර බෙදි යන්නේය.
එබැවින් කිසිදු සාම්ප්‍රධායික මැණික් පතලක පතල් කරුවන් මිස කුලී කාරයන් නැත. පතල් කරුවන් කරුකාරයන් ලෙසට ද හැදින්වේ.
මැණික් පතලක වැඩ ආරම්භ කෙරෙන්නේ සුබ නැකතල්කට අනූවය. ඊට පෙර පතලකට සම්බන්ද ලයිසන්කාරයා, හවුල් කරුවන් ආදී සියලු දෙනාම එක්ව පතලය වෙනු වෙන් දෙවි දේවතාවුන්ටත් බාර හාර වෙති. පුද පූජා පවත්වති. පතලය නිරුපද්‍රිතව කරගෙන යාමටත් එයින් ප්‍රමානවත් තරම් මැණික් සම්පත් උදාකර ගැනීමටත් උන්වහන්සේලාගේ පිහිට පැතීම ඒවයෙහි අරමුනයි.
මෙහිදී කතරගෙම දෙවියන්ටත්, අධිපති සුමන සමන් දෙවියන්ටත් භාරහාර වීමටත් ඔවූහු අමතක නොකරති. රත්නපුරයේ පිහිටිසබරගමු මහ සමන් දේවාලයට ගොස් ප්‍රථමයෙන්ම බුදුන් වැද ඊලගට දෙවියන් උදෙසා පුද පූජා පැවත්වීම සිරිතයි. මැණික් පතලයකට අදාලව සැම වැඩක්ම පාහේ කෙරෙනුයේ බුදුන්ගේ සරනින් සමන්දෙවි හාමුදුරු හාමුදුවන්ගේ පිහිටින් යන ආශිර්වාදාත්මක කියමන තොල් මතුරමිනි.
මේවා හැර තවත් ප්‍රධාන පුද සිරිත් දෙකක් පැවත් වීමටද මැණික් අඩවියේ හවුල් කාරයෝ අමතක නොකරති. ඒ යින් එකක් වන්නේ මණික් සම්පතට අධිපතියැයි සැලකෙන මංගර දෙවියන්ට පුද පුජා පැවත්වීමය. අනෙක පොලොව යට වස්තුවට අධිපති යැයි සැලකෙන භූමිදේවතාවක් හෙවත් භෛරවයාට පුද පූජා පැවත්වීමය.
– පොත පත ඇසුරෙනි