ඉංග්‍රිසී පාලනය යටතේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ රබර් හා තේ වගාව අරඹන ලදී. එම වැවිලි බෝග ප්‍රවාහනය සඳහා 1905 දී අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ග ඉදි විය. 1908 දී රත්නපුර දක්වා එය දීර්ඝ විය. මුඩුබිම් පනත යටතේ දේශීය ජනයාගෙන් රජයට පවරා ගත් රතු පස් සහිත උස් ඉඩම්වල තේ හා රබර් වගාව ආරම්භ වුණු අතර පහත් බිම් තීරයන් නිරතුරුවම ජල ගැලීම්වලට ලක් විය. අවිස්සාවේල්ල නගරය ආශ්‍රිත උස් බිමි රබර් හා තේ වැවිලිවලට සමාගම් යටතේ යොමු විය.
අවිස්සාවේල්ල දුම්රිය පොළට බටහිරින් හා දකුණින් කැළණි ගඟ දක්වා වු පහත් බිම් තීරය සියලු පසින් යුතු සරුසාර බිමක් විය. එවකට ලංකාවට පැමිණි සිටි වැවිලිකරුවන් අතර උක් වගාව ගැන දැන සිටි විදේශිකයන් සතු අක්කර 100 ක පමණ බිම් තීරයේ උක් වගාව ආරම්භ කර ඇත. උක් දඬු ඇඹරීමේ කර්මාන්ත ශාලාවක් ද එහි ආරම්භ කර ඇත. කිතුල් පැණි හා කිතුල් හකුරු පමණක් දැන සිටි ලාංකීකයන්ට මෙය අළුත් අත්දැකීමක් විය.
වසර 20 පමණ ඉතා සාර්ථකව සිදු කළ සීනී කර්මාන්ත ශාලාවේ සේවක වැටුප් පිළිබඳ ගැටළුවක් මතුවීම නිසා අර්බුදයක් මතු විය. උක් වගාව ආශ්‍රිත සර්පයින් විශාල ලෙස ගැවසීම සිදු විය. මෙහි දී යන්ත්‍ර ක්‍රියාකරන පිරිස් පාලකයන් සමඟ උරණ වී උක් දඬු සමඟ සර්පයින් ඒ තුළට දෑමීමෙන් සීනීවලට සර්ප විෂ ඇතුළු වී ඇති බව ප්‍රචාරයක් යවන ලදී.
අවසානයේ ඉහළ පාලකයින් මේ පිළිබඳ මැදිහත් වී ඇඹරුම් යන්ත්‍ර පරීක්ෂාවේ දී සර්පයින් දමා සීනී වලට විෂ ඇතුළත් වීමට කටයුතු කර ඇති බව සොයා ගන්නා ලදී. ඒ අනුව රජය මඟින් සීනී කම්හල වසා දමන ලදී. එහි යන්ත්‍ර සූත්‍ර පසු කාලයේදී හොනිටන් පෙදෙසේ පැවති බවද වාර්තා විය. මේ අනුව ලංකාවේ ඇරඹු ප්‍රථම උක් සීනී කම්හල අභාවයට පත් වූ අතර එම උක් වගා ප්‍රදේශය අද උක්වත්ත නමින් හඳුන්වනු ලබන බවද කියැවේ.