මෙවැනි කුරිරුකම් හමුවේ කවර නම් පාලකයෙකුගේ පාලනයක් දිගුකල් පවතීවායි ජනතව පතත්ද? එදත් අදත් ශ්‍රීලංකාව බුදු සමය සියපන දෙවැනි කොට තැනූ ජනතාවක් වාසය කරන රටකි. බුදු සමයට පි‍ටුපා යන අය කොතරම් බලවතුන් වුවද ජනතාවගේ පිලිකුලට ලක්වීමත් එවැන්න වුන්ගේ බිඳ වැටීම ජනතාව විසින් ප්‍රර්ථනය කරනු ලැබීමත් ශ්‍රීලංකාවේ ඉතිහාසය නැමති රේඛාවෙහි අඛංඩව දක්නට ලැබෙන ලක්ෂනයකි. විදේශිකයන් පි‍ටු දැකීම රාජසිංහයන්ගේ උත්තරීතර අරමුන වුවද එයම ලක්ජනතාවගේ පොදු පරමාර්තය ව පැවතුනද බුදු සමයට එරෙහිව රාජසිංහයන් කල කටයුතු නිසා ඔහු පසුපස පෙල ගැසෙන්නට ජනතාව මැලි වූහ.
රාජසිංහයන් ගෙන් බුදු සසුනට වූ විනාශය මහ වංශය මෙසේ විස්තර කරයි. “දිනක් දන්දුන් රජ මහා තෙරුන් වෙතින් ප්‍රීතෲ ඝාතක පාපයෙන් මිදෙන්නේ කෙසේ දැයි විචාල කල්හි ඉන් මිදිය නොහැකි යැයි උන්වහන්සේලා පෙන්වා දුන්හ. සර්පයෙකු සේ කිපුනු රජ ශිව භක්තිකයන් වෙතින් ඉන් මිදිය හැකියැයි ලැබූ උපදෙසට පැහැද ශිව භක්තිය වැලඳ ගෙන සඝුන් මරමින්, දහම් පොත් ගිනිබත් කරවමින් , ආරාම බිඳුවමින් , බුදු සසුන විනාශ කලේය. සුමන කූටයෙහි (සිරීපාදයෙහි) සියළු ලාභයන් මිසදු‍ටුවනට පවරා දුන්නේය. රාජ භයෙන් බියපත්වූ බොහෝ භික්ෂූන් සිවුරු හැර ගිය අතර සෙසු භික්ෂූහු තැන තැන ගොස් සැගවුනහ (මහාවංශය). රාජසිංහයන්ගෙන් වූ සාසනික විනාශය මහා වංශ කරු ඔහු හැදින්වීමට යොදා ඇති පාපීයා (පාපකෝ) යන වචනයෙන්ම මනාව සංක්කේතවත් වේ.
රාජසිංහයන් සිව ආගම කෙරේ පැහැද වූවේ අරිට්ට කී වෙන්ඩු නම් ආඬි ගුරු විසිනි. “අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් කියන ආඬියනට මාන්නන්ප්පෙරුම මොහොට්ටි කමුත් දී යකඩ දෝලියට ඇරගෙන උන් රජ හෙට්ටියාගේ දුව මන්නප්පෙරුම මොහොට්ටියාට දී බොහෝ කරුනා ඇතිව ඉඳිනා සඳ”. යනුවෙන් ඔහුට මාන්නප්පෙරුම මොහොට්ටාල යන නම දී රජ හෙට්ටියාගේ දුවද සරන කර දුන් බව රාජාවලියේ (99 පි‍ටුව) සඳහන් වේ. මොහුගේ උපදෙස් පරිදි රාජසිංහයන් විසින් කල එතෙක් ලියවී තිබුනු පුස්ථකයන් ගිනිබත් කරවීම නිසා සිංහලයන් සතු උදාර සාහිත්‍ය කෘති විශල සංක්‍යාවක් මුළුමනින්ම විනාශ වී ගිය බවට සැකයක් නැත. “කඳු මෙන් ගොඩකර බන පොත් ගිනි දී සසුනද වනසමිනා” යනුවෙන් මන්දාරම් පුර පුවත් කවියා එය වාර්ථාකර ඇත.රාජසිංහයන් භික්ෂූන්වහන්සේලාට කල විපත ද මන්දාරම් පුවත් කවියා “සිල්වත් සඝන මරවන ” ” බික් සඝුන් මරමිනා” ආදී වසයෙන් සදහන් කර ඇත.