ලංකා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී වු සිද්ධියක් මුල් කරගෙන සීතාවක යන නාමය ඇති වූ බව පිලිගන්නා පක්ෂයක්ද වේ. රාම බිරිය වූ සීතා කුමරිය බලහත්කාරයෙන් ලංකාවට ගෙනැවුත් සගවා තැබූ එක් ස්ථානයක් නිසා සීතාවක යන නාමය ඇතිවූ බව මේ පක්ෂයේ අදහසය. වාල්මිකී ගේ රාමායනයේ සදහන් රාම සීතා කථා ප්‍රවෘතියත් ලංකාවේස්ථාන කිහිපයක් හැඳින්වෙන සීතාවක, සීතා එලිය, සීතාවක ගඟ, රාවනා එලිය, රාවනා ඇල්ල වැනි නාමත් පදනම් කරගෙන මේ මතය ගොඩ නැගී තිබේ. පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධක පදනම් කරගෙන මේ මතය සනාත කිරීමට තරම් ප්‍රමානවත් විමර්ෂනයක් මෙතෙක් කිසිවෙක් කර නැත.
ගම්පල රාජධානී සමයේ පස්වන බුවනෙකබා රජු දියුනු කල ගම් රටවල් අතර මායාදුනු රටද මහා වංශයේ අනූවන පරිච්ඡේදයේ දැක්වේ. මේ සදහන් මායාදුනු රට අද සතර කෝරලයට අයත්ය. එය විශාල ප්‍රදේශයකි. මෙහි උපුල් වන දෙවිදු සදහා විශේෂ දේවාලයක්ද තිබූ බව මහාවංශයේ සදහන් වේ. අද මේ දේවාලය අළුත් නුවර දේවාලය නමින් හැඳින්වේ. “මායාදුන්නේ” නම් ලත් අධිපතියෙකු මේ නගරයේ විසූ නිසා මායාදුනු නුවර වී යැයි විස්වාසයක්ද පවතී. ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ සහෝදරයෙකු මායාදුන්නේ පරාක්‍රමභාහු නමින් මෙහි විසූ බවත්, ඒ මායාදුනු නුවර සීතාවක බවත් ඊ.ඩබ්. පෙරේරා මහතා අදහස් කරයි. කෙසේ වෙතත් මායාදුනු නුවර ගම් නියම්ගම් වලින් සැදුම් ලද බව “මහා ප‍ටුනු ගම්වලින් සැදුම් ලදරට මායාදුන්න යැයි දත යුතු” යනුවෙන් ත්‍රීසිංහලයේ කඩයිම් හා විත්ති නම් පොතේ දැක්වේ. කෙසේ නම ඇති වුනත් ගම්පල යුගයේ සිට සීතාවක යන නාමය ව්‍යවහාරයට පැමිනි බව පැහැදිලිය.
– පොත පත ඇසුරෙනි